(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෙහෙඩීයන්ගල දියවර ගම්මානයේ ජනතාව දැඩි  පානීය ජල හිඟයකට මුහුණ පා සිටිති.

කිසිදු බලධාරියකුගේ අවධානයක් යොමු නොවූ තැන තමන්ට ඇති එකම ළිඳකින් පිරිසිදු කිරීමකින් තොරව පානය කරති.

පවුල් 500ක පමණ දෙනා ජීවත් වන මෙම ගම්මානයට වසර කිහිපයකට ඉහතදී ස්වේච්ඡා සංවිධානයකින් මෙම නළ ජල සහිත ටැංකියක් ලබා දී තිබේ.

එහි ජලය සමග ගල්කුඩු පැමිණීම නිසා  ජලය පානය කිරීමට නොහැකි  බව ඔවුහු පෙන්වා දෙති

ඒ අනුව ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නයේ ලිඳ කපාගෙන ජලය පානය කරන්නට වූ බව පවසති. පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් වල ඇති ළින් සියල්ල සිඳී ගොසිනි. යතුරුපැදි වාහන ඇති අය කිලෝමීටර්  හතක් අතර දුරක් ගෙවා වෙනත් ගම්මාන වල ඇති ජල පිරිපහදුවලින් ජලය මිලදී ගෙන පානය කරන බව ඔවුන් පෙන්වා දෙති

කෙසේ වෙතත් ගමන් කිරීමට නොහැකි අතමිට මිල මුදල් නොමැති අය ගල්කුඩු සහිත ජලය පානය කරන බව ඔවුහු පෙන්වා දෙති.

ජල මූලාශ්‍රයට පිරිපුදු ජල පිරිපහදු ඒකකයක් සවිකර දෙන්නැයි ඔවුහු  ආයාචනා කර සිටිති.