(සුජිත් හේවාජුලිගේ )

වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට  කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

එසේම බිම් සකස් කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමටද කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඇමැති  රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසූවේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවති සාකච්ඡාවකදීය.

දැනට පවතින ක්‍රමවේදයට අනුව තේ අස්වැන්න ලබා ගැනීමට අවුරුදු තුනහමාරත් හතරත් අතර කාලයක් ගත වන  හෙයින් වගාකරුවන් අධෛර්යයට පත් ව සිටින බව පැවසූ ඇමැතිවරයා නව ක්‍රමවේදය අනුව  වගා කිරීම සඳහා තේ වගාකරුවන්  වැඩි වැඩියෙන් ඉදිරිපත් වනු ඇතැයිද  විශ්වාසය පළ කළේය.

අලුත් ඉඩම්වල තේ වගා කිරීම ආරම්භ කළ යුතු බවද  ඔහු කීවේය.

රට පුරා ඇති මුඩු ඉඩම්ද තේ වගාව සඳහා යොදාගැනීමට  ලබන වසරේ සිට බලාපොරොත්තු වන බවත් එම වැඩපිළිවෙළ හේතුවෙන් රටේ තේ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති වනු ඇතැයි  බලාපොරොත්තු වන බවත් පතිරණ මහතා පැවැසීය.

තේ  දළු නෙළීම සඳහා   යන්ත්‍ර යොදා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් වැඩිදුරටත්  සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට  රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, වතු ප්‍රතිසංස්කරණ,තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.