(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

ගෑස් ටැංකි පිපිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා  ලිට්ට්‍රෝ සමාගමේ නිලධාරීන් මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැතැයි රහස් පොලිසිය තමාට දැනුම් දුන් බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ගෑස්  ටැංකි පිපිරීම සම්බන්ධව කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට නීති පියවර ගන්නැයි දෙසැම්බර් 7 වැනිදා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කී මුජුබර් රහුමාන් මහතා එම පරීක්ෂණ වල ප්‍රගතිය සොයා බැලීම සඳහා අද(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ රහස් පොලිසිය මෙම දැනුම්දීම කළ බවද රහුමාන් මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන මහත්වරුන්ද සමගි ජන බලවේගයේ නීතිඥවරුන් ද  මේ සම්බන්ධ කරුණු  දැනගැනීම සඳහා මුජුබුර් රහුමාන් මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ .

අදාළ ගෑස් පිපිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හතරක් ද පැමිණිලි කර තිබෙන බවත්  ඒ පිළිබඳව  නීතිපති උපදෙස් ඉල්ලා ඇති නමුත් තවමත් එය ලැබී නොමැති බව රහස් පොලිසිය මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවත් මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේය. 

ගෑස්  සංයුතිය වෙනස් කිරීමෙන්  පැහැදිලිවම අපරාධයක් සිදු වී තිබෙන්නේ යැයි කී රහුමාන් මහතා නමුත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මේ පිටුපස දේශපාලකයන් සිටින නිසා බව පැහැදිලි යැයිද සඳහන් කළේය.රජයේ සමාගමක් වන ලිට්රෝ සමාගමෙි නිලධාරීන් පත් කරන්නේ මුදල් ඇමැතිවරයා බවත් මෙි අනුව ආණ්ඩුව නීති ක්‍රියාමාර්ග නොගැනීමට හේතුව පැහැදිලි බවත් මුජුබුර් රහුමාන් මහතා කීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)