(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නව කියුබා තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක්  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (23) සිදුවිය. 

මෙම හමුවේදී කියුබා තානාපතිවරිය පැවසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කියුබා රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවයි. කියුබාවට සම්බාධක පනවා තිබුණත්, රටක් ලෙස ක්‍රීඩාව තුළින් ඉදිරියට පැමිණ ඇති බව තානාපතිනිය කීවාය.

කියුබාව සතු අත්දැකීම් තුළින් ඔලිම්පික් පදක්කම් කරා යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කියුබානු රජය කැමති බව තානාපතිවරිය ප්‍රකාශ කළාය. 

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වි පාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදිය හැකි බව ඇය ප්‍රකාශ කළාය. 

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී දෙරට ඒකාබද්ධව කළ හැකි ව්‍යාපෘතීන් පිළිබඳව අවධානය යොමු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.