(විමුක්ති එස් රුද්‍රිගු)

මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 ක් පමණ සිටින බවත් එහි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

කලාපයේ ජීවත්වන සහ සේවය කරන ලක්ෂ 10ක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සළකන බවද එම නිවේදනයේ සඳහන් කරයි. පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස තරයේ උපදෙස් ලබාදෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත්, අත්‍යාවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින ලෙසත් මැද පෙරදිග කලාපයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

එසේම මැද පෙරදිග කලාපයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් තමන් සිටින රටෙහි ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග නිරන්තරයෙන් සම්බන්ධතාවය පවත්වා ගත යුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එසේම තමන් සතු ජංගම දුරකතන සම්පූර්ණයෙන් චාර්ජ් කර ළඟ තබා ගැනීමට එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කටයුතු කළ යුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහාය ලබාදීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකතන අංක ක්‍රියාත්මක කර තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවුල් විසින් සිදුකරන ලබන විමසීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන පහත සඳහන් හදිසි ඇමතුම් අංක ක්‍රියත්මකව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය කොන්සියුලර් අංශය - 074-2595546 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය - 071-9802822