(විමුක්ති එස්. රුද්‍රිගු)

මෙරට තරුණ තරුණියන් විවාහය ප්‍රමාද කරන්නේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් නිවාස ගැටලු, ඉහළ යන ජීවන වියදම, වැටුප් වර්ධක නොලැබීම සහ රැකියාවල තිබෙන අනාරක්ෂිත බව විවාහ ප්‍රමාද කිරීමට ප්‍රධාන සාධකවී තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කළේය.

විවාහ ප්‍රමාදයට එක් හේතුවක් පෙන්වා දිය නොහැකි බවත් ඒ සඳහා හේතු ගණනාවක් බලපාන බවත් එම අරමුදල පැවැසුවේය.

මෙරට තරුණ තරුණියන් විවාහවීම හෝ මවුපියන්වීම හෝ ප්‍රතික්ෂේප නොකරන බවත් ඔවුන් විවාහවීමට සිය මතය අනුව සුදුසු කාලය එළැඹෙන තෙක් බලා සිටින බවත් එම අරමුදල ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ද තරුණ තරුණියන් විවාහය සහ පවුල් ජීවිතය අගය කර සලකන බව ද එම අරමුදල පැවැසුවේය.

කෙසේ වෙතත් මූල්‍ය ස්ථාවරත්වය, ජීවත්විය හැකි වැටුපක් ලැබෙන රැකියාවක් තිබීම සහ දැරිය හැකි මිලකට නිවෙසක් ලබා ගැනීමට තිබෙන හැකියාව විවාහය හෝ පවුලක් ගොඩ නැගීම වැනි දිගුකාලීන කැපවීම් සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතා ලෙස තරුණ තරුණියන් නිරන්තරයෙන් සලකන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රකාශ කළේය.

ස්වාධීන පවුල් සංස්ථාවක් පිහිටුවීම සඳහා ආරක්‍ෂිත රැකියාවක්, ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් සහ දැරිය හැකි මුදලකට පදිංචියට නිවෙසක් ලබා ගැනීමට හැකියාව තිබීම අවශ්‍යතා බව එම අරමුදල පැවැසුවේය.

කොවිඩ් වසංගතය සහ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය මෙම අවශ්‍යතා තුන වටා දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කීවේය.

කොවිඩ් වසංගතය සහ මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික තරුණියන් බොහෝ පිරිසක් විවාහය හෝ ගැබ් ගැනීම ප්‍රමාද කර තිබෙන බව ද ඒ පිළිබඳව කළ සමීක්ෂණයක දී අනාවරණය වී තිබෙන බව එම අරමුදල ප්‍රකාශ කළේය. තරුණ තරුණියන්ගේ ජීවිතවල ප්‍රධාන තීරණ ආර්ථික අවිනිශ්චිතතා මත වෙනස්විය හැකි බව ඉන් පෙනී යන්නේ යැයි ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පැවැසුවේය.

විවාහය, මවුපියන් වීම සහ සබඳතා පිළිබඳ තීරණ ගැනීමට තිබෙන බාධක ඉවත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද එම අරමුදල ප්‍රකාශ කළේය.

එහිදී ආදර සම්බන්ධතා පිළිබඳ තීරණයක් ගැනීමට, විවාහවීමට සහ මවුපියන් වීමට තිබෙන ආර්ථික බාධක ඉවත් කළ යුතු බව ද එම අරමුදල පෙන්වා දුන්නේය.

ආර්ථික බාධක ඉවත් කිරීම සඳහා තරුණ තරුණියන් සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබෙන රැකියා අවස්ථා ඇති කිරීම, දැරිය හැකි මිලකට නිවෙසක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව වැඩි දියුණු කිරීම, දැරිය හැකි මිලට ගුණාත්මක ළමා සුරැකුම් සේවා පුළුල් කිරීම සහ පවුල් හිතකාමී සේවා ස්ථාන නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ආයෝජනය කළ යුතු බව ද එම අරමුදල ප්‍රකාශ කළේය.