(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල / විදේශීය සංවිධාන අතර පහත සඳහන් පරිදි අවබෝධතා ගිවිසුම්/ ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* තීරයක් සහ මාවතක් සඳහා වන ජාතික හා ජාත්‍යන්තර විද්‍යා සංවිධාන සන්ධානය (Alliance of National and International Science Organizations for the Belt and Road Regions ANSO) සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර දේශගුණික විපර්යාස හා පරිසර දූෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව පැවැත්වීමට අදාළව වන ව්‍යාපෘති ගිවිසුම.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ චීනයේ හොංකොං චීන විශ්ව විද්‍යාලය අතර මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව තුළත්, පරිසරයේත් MRSA රෝගය (Methicillin Resistant Staphylococcus Aureus) සම්ප්‍රේෂණය වීම පිළිබඳව හා ඒවායේ ක්ෂුද්‍රජීවී නාශක හා ජෛව නාශක ප්‍රතිරෝධය පැහැදිලි කර ගැනීම සහ ජානමය විවිධත්වය අධ්‍යයනය කිරීම අරමුණු කර ගනිමින්, පර්යේෂණ සහයෝගිතා ගිවිසුම (Research Collaboration Agreement) සහ ද්‍රව්‍ය හුවමාරු ගිවිසුම (Material Transfer Agreement).

* කැළණිය විශ්ව විද්‍යාලය සහ ජපානයේ - කියෝතෝ තොරතුරු විද්‍යා උපාධි අධ්‍යයන විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතාව ඉහළ නැංවීම, පීඨ හා සිසුන් අතර අධ්‍යාපන, වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් මිත්‍රත්වය ඉහල නැංවීම සහ ඒකාබද්ධ පර්යේෂණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

* වවුනියා විශ්ව විද්‍යාලය සහ මැඩ්‍රාස් ඉන්දියානු තාක්ෂණ ආයතනය අතර අන්‍යෝන්‍ය එකඟතාව සහිත ක්ෂේත්‍ර වල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතාව ඇති කර ගැනීම, අධ්‍යයන තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම, සිසුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා අනුග්‍රහය ලබා දීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

* ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය (Indian Council for Cultural Relations) සහ වවුනියා විශ්ව විද්‍යාලය අතර ආරාධිත මහාචාර්යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත වවුනියා විශ්ව විද්‍යාලය වෙත ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.