( තිළිණි ද සිල්වා )

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ එස්.බී.එස් සිංහල ගුවන් විදුලි සේවය අද (18) වාර්තා කළේය.

මෙලෙස වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින ප්‍රභානි රණවීර නම් නැමැති ලාංකික තරුණියයි.ඇය වානේ , ඇලුමිනියම් හා ටය්ටේනියම් යන ලෝහ ත්‍රිත්වය යොදා ගනිමින් මෙම අධි තාක්ෂණික වෙඩි නොවදින ඇදුම නිර්මාණය කිරීම මෙහි විශේෂත්වය වේ.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිය පශ්චාත් උපාධි පර්යේෂණය වෙනුවෙන් මෙම ලාංකික තරුණිය මෙලෙස අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුම නිර්මාණය කළ බව එස්.බී.එස් පුවත්සේවය වාර්තා කර සිටී.

කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපන කටයුතු සදහා කොළඹ සයිටම් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත්තාය.ඉන් අනතුරුව තායිලන්තයේ ඒජියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජී ආයතනයෙන් සිය දෙවැනි උපාධිය හිමිකර ගැනීමෙන් අනතුරුව ශිෂ්‍යත්වයක් ලබා 2018 වසරේදී සිය පශ්චාත් උපාධිය හැදැරීම සදහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුලත් වූවාය.

සිය පශ්චාත් උපධි පර්යේෂණ නිර්මාණය ගැන ඕස්ට්‍රේලියාවේ එස්.බී.එස් සිංහල ගුවන් විදුලි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ දැනට ලෝකයේ පවතින්නේ වානේ වෙඩි නොවදින ඇඳුම් බවත් , මේ වානේ බර වැඩි වීම හේතුවෙන් මේ වනවිටත් ලොවපුරා වානේ සහ ඇලුමිනියම් යොදාගනිමින් වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට පර්යේෂණ ක්‍රියාත්මක වන බවය.

දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිත කිරීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවුන ද ඉන් ඇතිවන දැඩි තරංග කම්පන හේතුවෙන් සිරුරේ අභ්‍යන්තරයේ අවයව වලට හානි සිදුවිය හැකි බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ඒ අනුව තමා නිර්මාණය කර ඇත්තේ තවදුරටත් මෙම වානේ ඇඳුම බර අඩු කරමින් වානේ, ඇලුමිනියම් සහ ටයිටේනියම් යොදාගනිමින් සැකසූ වෙඩි නොවදින ඇදුමක් යැයිද ප්‍රභානි රණවීර කියා සිටින්නීය.

එමගින් වෙඩි ප්‍රහාරය එල්ලවූ මොහොතේ එය පැළඳ සිටි පුද්ගලයාට හානියක් සිදු නොවුනද මද වෙලාවකින් ජීවිත හානි තත්වයන් ඇතිවිය හැකි බවද ඇය පෙන්වාදෙයි.

ඒ අනුව මෙම ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම තුළින් එම කම්පනය සියයට 80කින් පමණ අඩුකිරීමට සමත්වන බවත් , ත්‍රිත්ව ලෝහ භාවිත කර මෙම ඇඳුම මගින් පසුකම්පන තත්ත්වයන් මගහරවා ගැනීමට සමත්වන බවද ඇය කීවාය.

මෙම ශ්‍රී ලාංකික පර්යේෂිකාවගේ මෙම පශ්චාත් උපාධි පර්යේෂණය සදහා යන සියලුම වියදම් සිඩ්නි විශ්ව විද්‍යාලය විසින් සිදු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.