(අංජුල මහික වීරරත්න)

රුසියා රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ සභානායක සහ රුසියානු රාජ්‍යයේ පාලක පක්ෂය වන “United Russia” පක්ෂ කණ්ඩායමේ නායක ව්ලැඩිමීර් වාසිලියෙව් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර විශේෂ හමුවක් රුසියාවේ State Duma හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන, ඓතිහාසික බැඳීම මත පදනම්ව, දෙපාර්ශවයේම අභිලාෂයන් අනුව අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කල අතර, පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම අලුත් කිරීම සඳහා එකඟතාවයකට ද එළඹිණි.

අතීතයේ සිටම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් වෙළෙඳ  සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලාංකික සිසුන් 800 කට අධික සංඛ්‍යාවක් රුසියානු විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන බවත් රුසියානු පාර්ලිමේන්තුවේ සභානායක ව්ලැඩිමීර් වාසිලියෙව් මහතා සඳහන් කළ අතර, ‍පවතින අභියෝගාත්මක තත්වයන් යටතේ වුවද, රුසියානු රාජ්‍ය සතු හැකියාවන් දෙරටේ අවශ්‍යතා සඳහා සාධනීය වශයෙන් භාවිත කිරීම පිළිබඳවත් මෙහිදී  සාකච්ඡා කෙරිණි.