රෝමනියාවේ ගම්බද ප්‍රදේශයකට ඊයේ (14) ඩ්‍රෝන යානාවක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සතියේ ක්‍රෝඒෂියාවට ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් අනතුරුව මෙම මස ඇතුළත නේටෝ රටකට කඩා වැටුණු දෙවැනි ඩ්‍රෝන යානාව මෙය බව විශ්ලේෂකයෝ පවසති.

යුක්රේන දේශ සීමාවට කිලෝ මීටර 100 පමණ දුරින් මෙම ඩ්‍රෝන යානාව කඩා වැටී ඇති අතර කිසිම රටක  ලාංඡනයක් ඩ්‍රෝනයේ නොමැති බව රොමේනියානු බලධාරීහු පැවසූහ.

කිනම් අරමුණකින් මෙම ඩ්‍රෝන යානය රෝමනියාවට පැමිණියාද,මෙම ඩ්‍රෝන යානයේ නියමුවා කවුරුන්ද යන්න සොයා පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර තවමත් ඩ්‍රෝන යානාව නිෂ්පාදිත රට හෝ ඩ්‍රෝන යානාව අයිති රට සොයාගෙන නොමැති බව රොමේනියානු බලධාරීහු පැවසූහ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර සිටියේ මෙම ඩ්‍රෝන යානය ඔර්ලාන්-10 නම් රුසියාවේ නිෂ්පාදිත නියමුවන් රහිත යානාවක් බවයි.

මෙම මස තුළ නේටෝ සංවිධානයේ රටක ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය මග හරිමින් ඩ්‍රෝන යානාවක් ගමන් ගත් දෙවැනි අවස්ථාව මෙය වනබව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්හ.

පසුගිය දා ක්‍රොඒෂියාවට කඩා වැටුණු ඩ්‍රෝන යානාවේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවත් එය ඔත්තු බැලීමේ යානයක් නොවන බවත් ක්‍රොඒෂියා බලධාරීහු පැවසූහ.

(රොයිටර්)