(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇනවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේනේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදාගනිමින් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි  අක්කර 800ක් යොදාගනිමින් අරඹන බව අමාත්‍යාංශය පවසයි.

පළමු ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය හා සැකසුම් මධ්‍යස්ථානය රාජංගනයේ ස්ථාපිත කර තිබෙන අතර දෙවන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය යාපනයේ ස්ථාපිත කර ඇත.

රාජාංගනයේ අක්කර 800ක් හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි. 

මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දූන්නේය.