(නිමල කොඩිතුවක්කු)

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව පහුගිය කාලේ කතා කළ දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන කතා සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය සියතට ගෙන කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

සමාගම්වලට අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට ඉඩ ලබාදෙමින් ආණ්ඩුව කරකියා ගැනීමට කිසිවක් නැතිව බලා සිටින බවත් හැටනම ලක්ෂයකට අධික ජනතාවක් ඡන්දය ලබා දී  ජනාධිපතිවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කෙරේ මේ සඳහා දැයි විමසා සිටින බවත් හෙතෙම පැවසීය.

අද වන විට ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් තානාපති කාර්යාල ඉදිරියට ගොස් වැඳ වැටෙන තත්ත්වයට රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්ව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අමතකව ගොස් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ ස්වෛරීත්වය සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

රටක ස්වෛරීත්වය සමග මෙලෙස සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දීමට නොහැකි බවත් ආණ්ඩුවේ මෙම  හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.