(යොහාන් භාසුර)

මෙම වසරේ (2026) රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැතිවීමට තීරණය කළ බව බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (10) පැවසීය.

බුද්ධශාසන සභා අද (10) රැස්වූ අතර එම සභාව ගත් තීරණ පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ 7, පිහිටි බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේදී අද (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

එම විහාරස්ථානයේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය කළ නිර්දේශයට බුද්ධශාසන සභාවේ සහ අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  

ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක් සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය පිළිබඳව ද ‘බුද්ධශාසන සභාව’ සාකච්ඡා කළ බවත් එම සිද්ධිය පිළිබඳව අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන නිසා එය නිදහසේ සහ බලපෑමකින් තොරව අවසන්වීමට ඉඩදී ඇති බවත් ඒ මහතා කීය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වුවහොත් බුද්ධශාසනයට අගයතියක් වන්නේ යැයි බොහෝ දේ පැවසුව ද එවැන්නක් නොවුණ බව කී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් බුද්ධශානයේ දියුණුව වෙනුවෙන් එම අමාත්‍යංශය කැපවී කටයුතු කරන බවත්ය.

බුද්ධශාසනය වෙනුවෙන් දරුවන් පූජා කළ මව්පියන් වෙනුවෙන් ‘බුදුපුත් මාපිය නිවාස ජාතික වැඩසටහන’ ලෙස හාමුදුරුවන්ගේ මව්පියන්ට නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියක්, විනය විරෝධීව හැසිරෙන ස්වාමීන්වහන්සේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීමට, දහම් පාසල් අධයාපනය ඇතුළු බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට සහ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් නවීණ හැදුම්පතක් හදුන්වාදීම ආදි කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බව අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

බුද්ධශාසන සභාවේ සාමාජිකයන් වන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤමහා නිකායේ ලේඛකාධිකාරී අත්තන්ගලේ ශාසනරතන යන හිමිවරු ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද එම මාධ්‍ය හමුවට සහභාගි විය.


(ඡායාරූපය: ඉසුරු පෙරේරා)