(ඩයනා උදයංගනී)

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදී වයස් සීමා කොන්දේසිය, සේවක අර්ථසාධක අරමුදල් හිමිවීම මත රැකියා නොලැබීම ආදී හේතු මත රැකියා අවස්ථා අහිමිවූ උපාධිධාරීන් සංවිධානය කළ උද්ඝෝෂණ හා සත්‍යග්‍රහ කිහිපයක් කොළඹ දී අද (5) පැවැත්විණි

අසාධාරණයට ලක්වූ උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රැකියා විරහිත පාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද 5 පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති අතර, රැකියාලාභී උපාධිධාරීන්ගේ ලැයිස්තුවේ නම් ඇතුළත්ව තිබී පසුව ඉවත් කෙරුණු උපාධිධාරීන් සංවිධානය කළ උද්ඝෝෂණයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

මීට අමතරව ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේදී වයස අවුරුදු 35ට වැඩි අය බඳවා නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පා සංවර්ධන නිලධාරී සේවා සංගමය ද බත්තරමුල්ල 'ඉසුරුපාය' අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

තම ඉල්ලීම් ඉටුවන තුරු අඛණ්ඩව විරෝධතා දක්වන බව ඒවාට එක්ව සිටි උපාධිධාරීහු පැවසූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප ගයාන් අමරසේකර)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)