(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ණය සීමාව මෙසේ වැඩි කිරීම සම්බන්ධයෙන් විසර්ජන පනතට විශේෂ සංශෝධනයක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී  ඉදිරිපත් කෙරෙනු ඇත.

ණය ගැණුම් සීමාව වැඩි කිරීම සඳහා  ඉදිරිපත් කරන ලද 2020 අංක  07 දරන  විසර්ජන පනත සඳහාවූ සං‍‍ශෝධනයට මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.

රුපියල් කෝටි දෙලක්ෂ අනු නව දහස් හත්  සියයක් ලෙස මෙතෙක්  ණය ගැණුම් සීමාව මේ අනුව රුපියල් කෝටි  තුන් ලක්ෂ තිස් නව  දහස් හත් සියයක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන්  මුදල් කාරක සභාවේදී කරුණු පැහැදිලි කළ   මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ  ණය ගැනීමේ සීමාව  වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය වූයේ  කොවිඩ් 19  වසංගත තත්වය නිසා  රටේ උද්ගතවූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා  අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම්වලට මුදල් සැපයීමේදී  රුපියල අවප්‍රමාණය වීම නිසාවූ බලපෑම  ආදී හේතු නිසා බවයි.‍

එසේම පරිපූරක වියදම්  ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඉහළ ගිය සුබසාධන  වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව  රුපියල් බිලියන   200 ක මුදලක්  පසුගිය කාල සීමාවේදී අනුමත කළ බවද ප්‍රකාශ කළේය.

මේ අතර  සුදු සීනි සඳහාවූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටකටද  රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.

සීනි සම්බන්ධයෙන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා  වෝහාරික වාර්තාවක අවශ්‍යතාව  මෙම කාරක සභාව හමුවේ තමා  කිහිපවරක් අවධාරණය කළ බව  ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී පැවැසීය.

මෙහිදී  මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ නුදුරේදීම  ඒ සම්බන්ධයෙන්  සංවාදයක නිරතවීමට හැකියාව ඇති බවයි.

මාර්ගගත ක්‍රමයට පැවති  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍යවරුන්වන  සුසිල් ප්‍රෙම්ජයන්ත,ආචාර්ය නාලක ගොඩහේවා  යන මහත්වරුන්ද  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර  මහතා ඇතුළු පිරිසක්ද  සහභාගී වූහ.