(ඩයනා උදයංගනී)

රටේ වත්මන් අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පාර්ශවයන් දැන්වත් ගෙදර යා යුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (29) පැවසීය.

රාජපක්ෂලා මහ පුටුවල සිටිනතුරු සහ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නාතාක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ආයතන මෙහෙයවන තාක් ජාත්‍යන්තරය තුළ හෝ දේශීයව රට ගැන විශ්වාසයක් ඇතිනොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින් මෙම ගැටලුව තවත් දරුණු වී ජනතාව පුපුරන තැනට ගෙනැවිත් රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වී පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා, රහසිගත ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගෙන සර්ව පාක්ෂික පාලනයක් ඇතිකළ යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත්, ඩොලර් මිලියන 250ක් අයිති සමාගමක් මේ වනවිටත් ලංකාවට එරහිව නඩු පවරා ඇති බවත් කී චම්පික රණවක මහතා එම නඩුවේ බලපෑම මත ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම පිළිබඳ විශ්වාසයක් නැතැයි ද කීවේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට, 43 වන සේනාංක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතු බව කී මන්ත්‍රීවරයා පහුගිය දිනවල මෙරටට බොරතෙල් ගෙන්වීමට මැදිහත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකකෙුට ගුවනට චන්ද්‍රිකා යැවීමට උදව් කළ සමාගමක් බව ද පැවසීය.