(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන් නොව එකිනෙකාට සහයෝගය දක්වන හවුල්කරුවන් විය යුතු බවට දෙරටේ නායකයන් පසුගියදා එකඟතාවයකට පැමිණ ඇත.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන 18 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පෙරේදා (12) පස්වරුවේ පැවැත්විණි. එම හමුවේදී රාජ්‍ය නායකයන් දෙදෙනා මෙම එකඟතාවයට පැමිණ ඇත.

චීනය සෑමවිටම ඉන්දියාව සමඟ පවතින සබඳතාව දෙස උපායමාර්ගික සහ දිගුකාලීන කෝණයකින් බලන බව චීන ජනාධිපති ෂී ජින්පින් එහිදී ප්‍රකාශ කර ඇත. පසුගිය වසර දෙක තුළ අගමැති මෝදි සමඟ පැවැත්වූ හමුවීම් මඟින් දෙරට අතර සබඳතා අලුතින් ආරම්භ කර තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබුණු බවත්, දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳාම වාර්තාගත ලෙස ඉහළ නැංවීමට හැකියාව ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවරභාවය සහ තිරසාර වර්ධනය උදෙසා චීන ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු හතරක් එහිදී ඉදිරිපත් කර ඇත. ඔහු ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු හතර පහත පරිදි වේ. පළමුවැන්න නිවැරදි උපායමාර්ගික දැක්ම: චීනය සහ ඉන්දියාව සතුරන් නොව හවුල්කරුවන් වන අතර එකිනෙකාට තර්ජනයක් නොව සංවර්ධන අවස්ථාවක් වේ.

දෙවැන්න ජයග්‍රාහී සහයෝගීතාව: පොදු සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාව අතර සබඳතා සහ ඍජු ගුවන් ගමන් වැනි ක්ෂේත්‍ර වර්ධනය කිරීම. තෙවැන්න දේශසීමා ගැටලුව නිරාකරණය: ගෞරවාන්විතව හා නම්‍යශීලීව දේශසීමා ආරවුල් විසඳා ගනිමින් දේශසීමා කලාපවල සමගිය සහ සාමය පවත්වා ගැනීම.

සිවුවැන්න ජාත්‍යන්තර සංවිධානවලදී සහයෝගයෙන් කටයුතු කිරීම : එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය, සහ ජී20 වැනි ගෝලීය වේදිකාවලදී සහයෝගයෙන් කටයුතු කිරීම.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ, ජනාධිපති ෂී සමඟ පැවැත්වූ සාර්ථක සාකච්ඡා දෙරටේ බිලියන 2.8 ක ජනතාවගේ පොදු යහපතට හේතු වූ බවයි. ඉන්දියාව සෑම විටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, චීනය සමඟ පවතින සබඳතාවලට තෙවැනි පාර්ශවයක බලපෑමක් නොමැති බවත් අගමැති මෝදි වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම, තායිවානය සහ ටිබෙටය සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත්, ඉන්දීය භූමිය තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වලට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. චීනය ලබා දෙන සහයෝගය අගය කළ ඉන්දීය අගමැතිවරයා, මීළඟ වසරේ චීනය මුලසුන හොබවන බ්‍රික්ස් සමුළුව සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද සහතික විය.