(අංජුල මහික වීරරත්න)

යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245 ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබා දීමේ අරමුණින් ඝනමීටර මිලියන 169 ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබ ඇත. 

එකී ජලාශය ඉදිකිරීමේදී අත් කර ගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු රජයේ තක්සේරුව අනුව සිදු කරගෙන යනු ලැබේ. එම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප කුඹුරු ඉඩම් කට්ටි 313ක් ලබා දී ඇත. 

එමෙන්ම, තෝරාගත් පවුල් 614 ක් සඳහා විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදල් ලබා දීමට 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් අතිරේක වන්දි මුදල් ලැබීමට සුදුසු පවුල් 540 ක් හඳුනා ගෙන ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දී තිබේ.

 විකල්ප කුඹුරු ඉඩමක් ලබා දීමට හැකියාවක් නොමැති බැවින් අතිරේක වන්දි මුදල් ලැබීම සඳහා හිමිකම් ලබන තවත් පවුල් 245 ක් හඳුනාගනු ලැබ ඇත. රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් වාරි ජලය මඟින් යල සහ මහ දෙකන්නය වගා කරන කුඹුරු ඉඩම් අක්කර එක හමාරක  වටිනාකම රුපියල් 1,800,000 ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ. 

ඒ අනුව තවදුරටත් හඳුනාගනු ලැබ ඇති පවුල් 245 සඳහා එක් පවුලකට රුපියල් 1,800,000 බැගින් අතිරේක වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.