(අංජුල මහික වීරරත්න)

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී  සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්‍රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම සනිටුහන් කරමින් මෙම කාර්ය සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ  ජයග්‍රහණය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා රෝග නිරීක්ෂණය, ආනයනික මැලේරියා අවස්ථා කඩිනමින් හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම සහ රෝගය යළි සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවයි.