(අංජුල මහික වීරරත්න)

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, සංගමන්කන්ද තුඩුවේ සිට කොළඹ දක්වාත් ජීවත්වන මිලියන 22කට ආසන්න ජනතාවට වඩාත් සුවපහසු, ගෞරවාන්විත හා ගුණාත්මක ජීවිතයක් උරුම කරදීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

යාපනය දිස්ත්‍රික්කයේ, පේදුරුතුඩුව මූලික රෝහලේ සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් රුපියල් මිලියන 212ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ඉදිකිරීමට යෝජිත සිව්මහල්  නව හෙද නිල නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව කීය.

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ උතුරු පළාත් සභාවේ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නව නිල නිවාස සංකීර්ණය තුළ හෙද කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට නේවාසික පහසුකම් සැලසීමට නියමිත අතර, එහි ඉදිකිරීම් එළැඹෙන වර්ෂයේ ජූලි මාසය වන විට අවසන් කිරීමට ද  සැලසුම් කර ඇත.

පේදුරුතුඩුව මූලික රෝහලේ සේවයේ නිරත හෙද කාර්යමණ්ඩලය  සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා පැවති ගැටළු රැසකට ස්ථිර විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

රෝගී සත්කාර සේවාවේ අඛණ්ඩ පැවැත්ම සඳහා සෘජු වගකීමක් දරන හෙද කාර්ය මණ්ඩලයට සේවා ස්ථානය ආසන්නයේ විධිමත් හා සුරක්ෂිත නේවාසික පහසුකම් සැලසීම, ඔවුන්ගේ සේවා පරිසරය ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි හා අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී කාර්යක්ෂමව සේවයට ප්‍රවේශ වීමටද වැදගත් පසුබිමක්  මෙමගින්  සකස් වනු ඇත.