(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

​මිරිගම මදුරුපිටිය, අධිවේගී මාර්ග පාලම අසල මා ඔයේ දිය නෑමට ගිය පිය-පුතු යුවළකගෙන් පුත්‍රයා දියගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා අතුරුදන්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.

පෙරේදා (15) පස්වරු 5:00 ට පමණ සිදුවූ මෙම අනතුරිින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුරාණ මිරිගම පදිංචිව සිටි ජයකොඩි ආරච්චිලාගේ තිසර සම්පත් ජයකොඩි නමැති 19 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මෘත දේහය මේ වන විට දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

​සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ මියගිය තරුණයාගේ පියා වන, ජයකොඩි ආරච්චිගේ දිනේෂ් චන්දික ජයකොඩි (අවු. 47) නැමැති අය බව පොලිසිය කියයි .

දියේ ගිලුණු තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

​කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් සමඟ මත්පැන් පානය කර මා ඔයේ දිය නාමින් සිටියදී, දිනේෂ් චන්දික ජයකොඩි නැමැත්තා පළමුව දියට බිලිවී තිබේ. ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා වන තිසර සම්පත් සහ කසුන් මාලිංග යන අය දියට පැන ඇති අතර, එහිදී ඒ අවස්ථාවේ පුත්‍රයාද දියට බිලිවී ඇත.