
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ පල්පාත ප්‍රදේශයේ දී අද සවස බස් රථ දෙකක් හා කන්ටේනර් රථයයක් ගැටී සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මාවනැල්ලේ සිට කෑගල්ල බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මොළගොඩ පල්පාත ප්‍රදේශයේ දී මගියකු බස්සවා යළි ගමන් ආරම්භ කරනවාත් සමග පූඩළුඔය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථයේ ගැටී ඉදිරියට ඇදී ගොස් කුඹුරකට පෙරලී ඇති බවත් පොලිසිය පැවසීය.
අනතුරට පත් පූඩළුඔය බස් රථයේ පිටුපස කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු කන්ටේනර් රථයක් ගැටී එම ලංගම බස් රථය මාවනැල්ල කෑගල්ල පෞද්ගලික බස් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් කන්ටේනර් රථයේ රිය සහයකයා සහ තවත් එක් පුද්ගලයකු එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර එම අනතුරින් බස් රථ දෙකේ ගමන් කරමින් සිටි මගීන්ගෙන් පස් දෙනකු ද තුවාල ලබා කෑගල්ල හා මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
COMMENTS
බස් මිනීමරුවන් දවසගානේ මිනීමරනවා. නීතිය දීර්ඝකාලීන නින්දේ.
මහනුවර - කොළඹ මාර්ගයට පැහැදිලිවම වර්තමාන වාහන ධාරිතාව දැරිය නොහැකියි. මේ අනතුරු බොහොමයකට හේතුව නම් නොබෙදූ මාර්ගයක දෙපසින් පැමිණෙන වාහන ගැටීමයි. මේ මාර්ගය තවත් පුළුල් කිරීමට නොහැකි බැවින්, පවතින එකම පිළියම නම් මහනුවර දක්වා දිවෙන අධි වේගී මාර්ගය සදා නිම කිරීමයි.