
(මොහොමඩ් ආසික්)
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදාවන් හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල ජනනය වූ වෙන් නොකළ මිශ්‍ර කසළ මෙට්‍රික් ටොන් 300 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මහනුවර මහ නගර සභාවට අයත් ගොහාගොඩ තේක්කවත්ත කසල අංගණයේ ගොඩ ගසා ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි.
මෙලෙස ගොඩ ගසා ඇති ද්‍රව්‍ය කසළ ලෙස හැඳින්වුවත් ඒවා කසළ නොව හාල් පරිප්පු පිටි අල ලූණු කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය, සබන් ෂැම්පු වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩ බවත් සුපිරි වෙළද සැල් මෙන්ම සාමාන්‍ය වෙළඳ සැල්ද ජලයෙන් යටවීම නිසා එම ව්‍යාපාරික ස්ථානවල තිබූ ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික භාණ්ඩ විනාශ වීම හේතුවෙන් මෙම ස්ථානයට බැහැර කරන බවද එහි නිලධාරිහු කියති.
මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ සහ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ එකතුවන කැලි කසළ මෙම ස්ථානයේ බැහැර කරනු ලබන අතර සාමාන්‍ය දිනවල මෙට්‍රික් ටොන් 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් ලැබුණත් මෙම ආපදා තත්වයෙන් පසුව දිනකට වෙන් නොකළ මිශ්‍ර කසල මෙට්‍රික් ටොන් 30 ක් වැඩියෙන් ලැබෙන බවත් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කරයි.
මහනුවර නගරය, පේරාදෙණිය, කටුගස්තොට ඇතුළු නාගරික ප්‍රදේශවලට ඇති වූ ජලගැලීම් නිසා ඇති වූ බරපතල ආපදා තත්වය හේතුවෙන් සුපිරි වෙළඳ සැල් නිවාස ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ජනනය වූ වෙන් නොකළ මිශ්‍ර කසළ දිනකට මෙට්‍රික් ටොන් 30 ක් අමතරව ලැබෙන බවත් සාමාන්‍යයෙන් දෛනිකව ලැබෙන මෙට්‍රික් ටොන් 70 ත් 80 ත්අතර පමාණයත් ඒ අයුරින්ම ලැබෙන බවත් කොමසාරිස්වරිය තව දුරටත් සඳහන් කළාය.
දළදා දැක්ම සමයේ එක් වූ කසළද තවමත් එම ස්ථානයේ ගොඩ ගසා ඇති බවත් ඒ සඳහා සහ කසළ අංගණයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බවත් නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
පසුගිය නොවැම්බර් 28 වනදා සිට මේ දක්වා කසළ අංගණයට විදුලිය ලැබී නොතිබීම නිසා කසළ කළමණාකරණ කටයුතු සහ ප්‍රතිචක්‍රියකරණ කටයුතු කර ගැනීම දැඩි අපහසුවක් වී ඇති බවත් මේ වන විට දින 16 කට වැඩි කාලයක් කසළ අංගණයට විදුලිය නොමැති බවත් එහි නිලධාරිහු පවසති. විදුලිය නොමැති නිසා කසළ අංගණයට ලැබෙන කසළවල සැබෑ ප්‍රමාණය ක්ෂණිකව ගණන් බලා ගැනීමත් අපහසු වී ඇති බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරින්, පාලකයින් මොනවද කරන්නේ. ඇයි තවම ප්ලාස්ටික් වෙනම, දිරන ආහාර වෙනම, කඩදාසි වෙන වෙනම එකතු කරන්න නීති හදන්න බැරි. එහෙම එකතු කරා නම් ආහාර ටික සතුන්ට දෙන්න පුළුවන්, නැතිනම් ඉක්මනටම දිරල යනවා. පොලිතින් ඇතුලට දාල අහාර ,යෝගර්ට් කප් , ප්ලාස්ටික් බෝතල් එහෙම එකතු කලහම අවුරුදු බර ගානක් යනවා දිරන්න, දිරුවත් ,ප්ලාස්ටික් පොලිතින් නිසා ගොඩ අඩු වෙනවා පෙනෙන්නේ නැහැ. ජපානේ එහෙම නම්, බෝතල් ,යෝගර්ට් කෝප්ප හෝදලා දෙන්න ඕනේ. ගොන් වැඩ කරලා , මෙතන බෙරිහන් දෙනවා කසල ගොඩ ගැහෙනවා කියල