(පද්මසිරි ගාර්දියවසම්, චන්ද්‍රසේන ගමගේ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, සනත් ගමගේ සහ ක්‍රිෂාන් ජිවක ජයරුක්)

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී  තිදෙනකු අභිරහස් ලෙස මිය යාමත් සමග පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී ලොරි තුනක සඟවා තිබූ කුඩු කිලෝ 600කට අධික ප්‍රමණයක් ටී-56 ගිනි අවියක් ඇතුළු ගිනි අවි හයක් සොයා ගැනීමට හැකි වූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

තංගල්ල සිනීමෝදර ප්‍රදේශයේ අලුත් වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති අතර ඔවුන් සමග  සිටි දෙදරු පියකු නිවෙසට ගිය පසු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මොවුන් රැදීසිටි සිනීමෝදර නිවස අසළ තිබී කුඩා ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එතුල තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් සොයාගෙන බවද පොලිසිය පැවසීය .

ඒ අසල තිබූ අනෙක් ලොරි රථයේ බද සහිත ප්‍රදේශයේ සකසා තිබූ රහස් රක්ක මත කුඩු බවට සැකකරන පැකට් විශාල ප්‍රමාණයක් හමු වූ බවත් එහි නියමිත බර අද (22) සවස් වනතුරුත් ගණනය කර නොතිබුණි.

රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකී තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක තිබී මත්ද්‍රව්‍ය සහ ගිණිඅවි සොයාගත් බවද පොලිසිය පැවසීය .

අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 86 ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 100 ක් නවීන පන්නයේ රිවෝල්වර 05 ක් සහ ටී 56 ගිණිඅවියක් එම ලොරියේ සඟවා  තිබී සොයාගත් බවද පොලිසිය පැවසීය.

එම ලොරියේ පටවා තිබූ පැණිකොමඩු අතර සකසා තිබූ විශේෂ රාක්කයක එම කුඩු සහ ගිනි අවි සඟවි තිබූ බව පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව ලන්දෙවත්ත ලිපිනයේ පදිංචිව සිටි සුවද හැන්නදිගේ තුසිත් වෙනුර කුමාර (අවු 50) , අම්බලන්තොට ලුණම රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව් .ඊ.කවිදු කල්හාර ,අම්බලන්තොට ලුණම මණ්ඩගල පාරේ පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන තිදෙනාය .             

 සිනීමෝදර නිවස අසල තිබී හමු වූ ලොරි රථ දෙකෙන්ම කුඩු සොයාගත් බව පොලිසියකියයි.  එක්  ලොරි රථයක්, මියගිය  තුසිත් වෙනුර කුමාර නමැති අයට අයත් එකක් බව ද පොලිසිය සඳහන් කරයි.