(ඩයනා උදයංගනී)

මෙරට පක්‍ෂි විශේෂ 244 ක් අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි.

දැඩි ලෙස තර්ජනයට ලක්වූ පක්‍ෂි විශේෂ 19ක්, තර්ජනයට ලක්වූ 48 ක් හා තර්ජනයට ලක්වීමේ ප්‍රවණතාවය සහිත 14 ක් සිටින බව එහි අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවසුවාය. මේ අතර තර්ජනයට ආසන්න කුරුළු විශේෂ 32 ක් සිටින බව ඇය සඳහන් කළාය.

‘ශ්‍රී ලංකාවේ පක්ෂින්ගේ සංරක්ෂිත තත්තවය පිළිබඳ යාවත්කාලීන කරන ලද රතු දත්ත ලේඛනය-2021’ එළදැක්වීම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා සිදුකෙරිණි. එම 2021 රතු දත්ත පොතට අදාලව දීප ව්‍යාප්තව කරන ලද සමීක්ෂණයේදී ඉහත තොරතුරු අනාවරණ වූ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය.

මෙම පක්‍ෂි විශේෂ තර්ජනයට ලක්වීමට හේතු සොයා බැලීමේදී ඔවුන්ගේ වාසභූමිවලට එල්ල වන තර්ජන ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඇය කීවාය.

වාසභූමිවලට එල්ලවන තර්ජන හේතුවෙන් කූඩු සාදා ගැනීමට, බිත්තර දැමීමට ස්ථාන නොමැතිවීමත්, කසල ආහාරයට ගැනීමෙන් ශරීරයට ඇතුළුවන රසායනික ද්‍රව්‍ය නිසාත් පක්‍ෂීන් මියයන බවත් අධ්‍යක්‍ෂවරිය කීවාය.

එබැවින් පක්‍ෂි වාසභූමි ඇති ස්ථාන එළි පෙහෙළිකිරීම, ගිනි තැබීම් ආදියෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට සහභාගි වු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ පක්ෂීන් මෙන්ම වන සම්පත ආරක්ෂා කිරිමට රජය මගින් ලැබිය යුතු පුර්ණ සහය ලබාදෙන බවයි. රටට ආවේනික පක්ෂීන් රැකගැනීම ඉතා වැදගත් කරුණක් බව ද ඇමතිවරයා කීය.