(සුජිත් හේවාජුලිගේ )

විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවක්  විවිධ කරුණු කාරණා හේතුවෙන්   පක්ෂ මාරු කිරීමේ  තීරණය ගැනීමට  දෙගිඩියාවක සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සමහර මන්ත්‍රීවරුන්ට   ඒ ඒ පක්ෂ දෙන බවට පොරොන්දුවූ   වරදාන වරප්‍රසාද නොලැබීම හේතුවෙන්  පක්ෂ මාරු කිරීම කල් දමා ඇතැයි දැනගන්නට ඇත.

සමග ජන බලවේගය පක්ෂයේ එක්තරා ප්‍රබල නායකයකුට ඔහු ඉල්ලූ තනතුරක් ලබා නොදීම හේතුවෙන් යළිත් එම පක්ෂයට සම්බන්ධ වීමට පණිවිඩ එවමින් සිටින බව වාර්තාවේ.

මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමීක්ෂණ වාර්තා විමර්ශනය කිරීමෙන් අනතුරුව පක්ෂ මාරු කිරීම් කල් දමා ඇති බව  පවසන එම ආරංචි මාර්ග විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු දෙදෙනකු  ආණ්ඩුවට  සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයේදී  සමහර  මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන්ද එම  දෙදෙනා  සම්බන්ධ කර ගැනීම දුෂ්කර වී ඇති බව සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර   මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුම් ඒ ඒ දේශපාලන පක්ෂ තුළ   දිගින් දිගටම සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.