(ඩයනා උදයංගනී)

මන්ත්‍රී නිල නිවාසවලට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට පැතිරයන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

වර්තමානයේ තරම් විදුලි අර්බුදයක් නොපැවති විදුලි කප්පාදුව ආරම්භ වූ කාලයේ මන්ත්‍රී නිල නිවාස විදුලිය නොකපන ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් මේ වන විට එම නිල නිවාසයන්හි ද විදුලිය කප්පාදුව සිදුවන බව අමාත්‍යවරිය පැවසුවාය.

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (31) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.  

මේ වන විටත් රෝහල්, වරාය, ගුවන්තොටුපල, පැය 24ම විදුලිය අවශ්‍ය ආයතන, කර්මාන්තපුර ආදිය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන බව කී ඇමතිවරිය එම සැපයුම්මාර්ගයට සම්බන්ධ නිවාසවලටත් විදුලිය අඛණ්ඩව ලැබෙන බවත්, එම නිවෙස් හැර අදාළ ස්ථානයන්ට පමණක් අඛණ්ඩව විදුලිය ලබාදිය හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස තමා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවත් කීවාය.

විදුලිබල මණ්ඩලයට ඍජුව ඉන්ධන මිලදී ගැනීමට හැකි පරිදි ඉකුත් ජනවාරි මාසයේදී බලශක්ති ඇමතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතත් ඒ සඳහා වන බලපත්‍රයක් ලැබී නැතැයි ද ඇමතිවරිය පැවසුවාය.