බලයෙන් පහ කළ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයන්  ස්විට්සර්ලන්තයේ පවත්වාගෙන යනු ලබන ඕනෑම වත්කමක් "වහාම ක්‍රියාත්මක වන පරිදි" අත්හිටුවීමට  ස්විට්සර්ලන්ත රජය අද තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසු කැරකස්හිදී මධුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට මුහුණ දීම සඳහා නිව්යෝර්ක් වෙත ගෙන ඒමෙන් පසු ස්‍විට්සර්ලන්තය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"වත්මන් තත්ත්වය තුළ නීති විරෝධී ලෙස අත්පත් කරගත් වත්කම් ස්විට්සර්ලන්තයෙන් පිටතට මාරු කළ නොහැකි බව සහතික කිරීමට" අවශ්‍ය බව, ස්විට්සර්ලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

ස්විට්සර්ලන්තය මෙම තීරණය පූර්ව ආරක්ෂාමය පියවරක් ලෙස ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වත්කම් අත්හිටුවීම අද (05) සිට වහාම ක්‍රියාත්මක වන අතර නැවත දැනුම් දෙන තුරු වසර හතරක් සඳහා වලංගුව පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම වත්කම් අත්හිටුවීම වත්මන් වෙනිසියුලා රජයේ කිසිදු සාමාජිකයකුට බලපාන්නේ නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

"අනාගත නීතිමය ක්‍රියාමාර්ගවලින් අත්හිටවනු ලැබු අරමුදල් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් බව හෙළි වුවහොත්, එම අරමුදල් වෙනිසියුලානු ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ලබා දීමට උත්සාහ කරන බව ස්විට්සර්ලන්තය රජය පවසා ඇත.

(හසිනි නවෝද්‍යා)