(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුව තුළත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගොස් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර  බණ්ඩාර මහතා කොලඹදී පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ලෙස සමගි ජන බලවේගය  නායකත්වය දී සියලු දෙනාම පොදු වේදිකාවකට ගෙන මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය  මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහලේකම්වරයා මෙසේද කීවේය.

"අද මේ රටේ ආර්ථිකය විනාස කරපු කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත්පාලන මැතිවරණය කල් දාන්න හදනවා. දැනටමත් පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දාලා තියෙන්නේ.මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 20 ඉදල මැතිවරණ පැවැත්වීමේ බලය ලැබිලා තියෙනවා. එසේ තිබියදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු 4000ක් දක්වා අඩු කරල මැතිවරණය පවත්වනවා කියලා. ඒ කියන්නේ මැතිවරණය කල් දැමීමේ තිත්ත බෙහෙත් ගුලිය මන්ත්‍රීවරු අඩු කරනවා කියලා පැණි රස තවරලා ගිල්ලන්න යනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න යන්නේ.

එතුමා ජනාධිපති පදවිය භාර ගන්න ඡන්ද 134ක් ගන්නකොට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට දුන්න පොරොන්දුව තමයි මැතිවරණය පවත් වන්නේ නැහැ කියලා. අද රටේ ජනතාව ආණ්ඩුව සහ මන්ත්‍රී වරුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. 2020 තිබුණ ජනමතය ආණ්ඩුවට නැහැ. එහෙනම් රටේ ජනතාවගේ මතය ‍රජාතන්ත්‍රවාදී අයිතිය නැවත විමසා බැලිය යුතුයි. ඉතිහාසයේ මීට පෙර මැතිවරණ කල් දාලා ජනතාව ඒකට පාඩම් උගන්නලා තියෙනවා.

නියමිත දිනට මැතිවරණ පවත්වන්න අපිට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා විරුද්ධ පක්ෂයේ සියළුම පක්ෂ එකතු වෙලා තීරණයක් ගත්තා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගිහින් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විදිහට එයට නායකත්වය දී සියලු දෙනාම පොදු වේදිකාවකට ගෙන්න දැනට තීරණය කරන හමාරයි.

සමගි ජන බලවේගය මෙහෙයුම ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වීය.