(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර ගෝඨාගෝගමට ඊයේ රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එහි සංවිධායකයෝ පවසති.

සුබෝපභෝගී ජීප් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පිහි පෙන්වා එහි සිටි තරුණයෙකු බිය ගන්වා පලවා හැර එම පරිශ්‍රයට අලාභ හානි සිදු කර තිබේ.

අරගලයේ නිරත තරුණ තරුණියන් විසින් ඇද තිබු චිත්‍ර හා ප්‍රදර්ශනය කර තිබු බැනර් හා කටවුට් ද කපා දමා හානී සිදු කර තිබුණි.

මෙය කවුරුන් විසින් සිදු කලේද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙත මාතර ගෝඨාගෝගම පරිශ්‍රය ඊයේ (24) ඉවත් කර ගැනීමට එහි සංවිධායකයින් තීරණය කර තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඉකුත් අප්‍රේල් මස 16 වැනි දින විශ්‍රාමික වෛද්‍ය නිලධාරී සරත් වීමලසූරිය මහතා මාතර ගෝඨාගෝගම මාතර ප්‍රධාන බස් නැවතුම් පොල අසල ආරම්භ කල අතර ඊට ඊයේ (24) දින 100 ක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණි.