(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රජය ජාතික වැඩසටහනක් අරඹා තිබේ.

‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ලෙස නම්කර ඇති මෙම ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් ආරම්භ වීමට නියමිතය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබා ගනිමින් සිදු කිරීමටත් රජය අපේක්ෂා කරයි.