(යොහාන් භාසුර)

බස් ගාස්තු සකස් කිරීමේ සූත්‍රයට ඩීසල් මිල ඉහළ යෑම ගැළපූ විට බස් ගාස්තුවට සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බවත් ඉහළ දැමූ බස් ගාස්තු යෝජනාව අනුමැතිය සඳහා කැබ්නට් මණ්ඩලයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා අද (22) පස්වරුවේ පැවසීය.

පසුගිය වසරේ (2025) ජූලි මස සිට ක්‍රියාත්මක වන බස් ගාස්තුව වර්තමානයේ ක්‍රියාත්මක වන අතර එම ගාස්තුව සකස් කිරීමේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 289 ක් ලෙස ගලපා ඇති බවත් ඩීසල් ලීටරයක මිල ඊයේ (21) රුපියල් 79 කින් ඉහළ යෑමත් සමඟ ඩීසල් ලීටරයක මිල රුපියල් 382 ක් දක්වා ඉහළ ගිය බවත් මිරැන්ඩා මහතා කීය.

බස් ගාස්තු සූත්‍රයට අවසන් වරට ඩීසල් මිල ගැලපීම සළකා බැලීමේදී ඩීසල් මිල රුපියල් 93 කින් ඉහළ ගොස් ඇති බව කී ඒ මහතා 2025 වසරේ ජූලි මාසයෙන් පසුව අවස්ථා කීපයකදී ඩීසල් මිල සංශෝධනය වුවද එය සමස්ත ගාස්තු සුචිය සියයට 4 කට අධික ප්‍රතිශතයක් නොවීම නිසා ගාස්තු ඉහළ නොදැමූ බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.