(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සපයන ආයතන තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයූවහොත් එම සමාගම් අනිවාර්යයෙන්ම අසාදු ලේඛනගත (Black List) කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් 2021 මහ කන්නයේ දී කාබනික පොහොර යැයි හඳුන්වමින්  වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළු නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවේ පැවසීය.

 කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ජාතික ගොවි සමුළු නියෝජිතයින්  මෙම කරුණු අනාවරණය කළ අතර මෙවර මහ කන්නයේදී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික නොකර ගොවීන්ට නිකුත් නොකරන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් කාබනික පොහොර සාම්පලවල ප්‍රමිතිය පරීක්ෂා කරන අතරම, ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට මිලදී ගැනීම සඳහා සපයන කාබනික පොහොර සියල්ලම වරින් වර පරීක්ෂාවට ලක් කිරීමටත්, ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර පමණක් ගොවීන්ගේ තෝරා ගැනීම යටතේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 කාබනික පොහොර මිල දී ගැනීම සඳහා එක් ගොවියෙකුට රුපියල් 20,000ක මුදලක් රජය මඟින් සහනාධාර වශයෙන් ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.