(සුජිත් හේවාජුලිගේ)

වෙළෙඳපොළේ (බාර්) ඇති මත්පැන් බෝතල්වලට ස්ටිකර් ඇලවීම ලබන සතියේ ආරම්භ කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ලංකාදීපයට පැවැසීය.

මත්පැන් නිෂ්පාදන ආයතනවල  මත්පැන් බෝතල් සඳහා සඳහා ස්ටිකර් ඇලවීම පසුගිය 3වැනිදා ආරම්භ කෙරුණු අතර මේ දිනවල එම කටයුතු  සිදුකෙරෙමින් පවතින බවද  ඔහු සඳහන් කළේය. මෙරටේ ඇති මත්පැන් නිෂ්පාදන ආයතන සංඛ්‍යාව 22කි.

මත්පැන් බෝතල්වලට ස්ටිකර්  ඇලවීමේ කටයුතු  ලබන මාර්තු මස 31 වැනිදායින් අවසන් කිරීමට නියමිතය.

මේ අනුව  ස්ටිකරය හෝ ඩිජිටල්  සලකුණ නොමැති කිසිදු මත්පැන් බෝතලයක් අප්‍රේල්  මස 1  වෙනිදායින් පසු   වෙළෙඳපොළේ  තිබිය නොහැකි බවද  සුරාබදු කොමසාරිස්ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළෙඳපොළට පැමිණීම, බදු නොගෙවූ මත්පැන් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙම  ස්ටිකර් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව පැවසූ එම්.ජේ ගුණසිරි මහතා ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නියමාකාරයෙන් පවතින්නේ දැයි තහවුරු කරගැනීම සඳහා පාරිභෝගිකයන්ට විශේෂ පරිගණක  යෙදවුමක් ( ඇප්) හඳුන්වා දෙන බවද ප්‍රකාශ කළේය.

පාරිභෝගිකයන්ට එම  යෙදවුම මගින් සියලු විස්තර දැකබලා ගත හැකිවනු ඇතැයිද ඔහු පැවසුවේය.