(යොහාන් භාසුර සහ ජෝශප් පයස්)

ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණතම ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන ‘පාස්කු ඉරුදින ත්‍රස්ත  ප්‍රහාරය’ට වසර 7 ක් සම්පූර්ණවීම වෙනුවෙන් සංවිධානය කරන සැමරුම් වැඩසටහන හෙට (21) පැවැත්වෙන බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ. 

‘සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව’ යන තේමාව යටතේ ‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ’ වින්දිතයන් සැමරීම වෙනුවෙන් සංවිධානය කරන මෙම වැඩසටහන රටපුරා දේවස්ථානවල එදින පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව නාදකිරීම, පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් පත්තු කිරීම සහ පෙරවරු 8.50 ට යාච්ඤා කිරීම ආරම්භ වන බව ද ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ. 

එම වැඩසටහනේ ප්‍රධාන සැමරුම කෝචිචිකඩේ දේවස්ථානයේදී පෙරවරු 9.00 සිට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා සහ සෙසු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සහ ඇන්ටන් රංජිත් සහායක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි  දේවස්ථානයෙඬ් පැවැත්වෙන වැඩසටහනට සෙසු ආගමික නායකයන්, විදෙස් තානාපතිවරුන් සහ සෙසු අමුත්තන් සහභාගී වීමට නියමිත අතර පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව වරක් නාදකිරීම විනාඩි දෙකක නිශ්ශබ්දතාවය රැකීම සහ පෙරවරු 8.47ට ආරාධිතයන් ඉටිපන්දම් දල්වන අතර මළවුන්ගේ සීනුව නාද කිරීමට නියමිතය.

පෙරවරු 9.10 ට  සිද්ධස්ථාන පාලක ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා  පිළිගැනීමේ කතාව සහ සෙසු ආගමික නායකයන් කෙටි ප්‍රතිචාර දෙසුම් සිදුකිරීමට  නියමිතය.

එහිදී අපෝස්තලික තානාපති හිමි, එක්සත් ජාතීන්ගේ නියෝජිත, කාදිනල්  හිමි, වින්දිතයන්ගේ නියෝජිතයින්ගේ තුති පැසසුම්, විශාරද නන්දා මාලනිය විශේෂ ගීතය ගායනා කිරීමට ද නියමිතය.

මැක්ස්වල් සිල්වා සහ ජේ. ඩී ඇන්තනි යන සහයක රදගුරු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය ශාන්ත  සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30ට දිව්‍ය පූජාව සහ පෙරවරු 8.45ට මළවුන්ගේ සීනුව වරක් නාද කිරීම හා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය රැකීම සහ සිහිවටන ස්ථාන ස්මාරකය අසලදී ඉටිපන්දම් දල්වන අතර  මළවුන්ගේ සීනුව නාද කිරීම සිදුකිරීමට නියමිතය.

එදින පස්වරු  4.00ට යැදුම් පා ගමන ගිහි, පැවිදි, පූජක පිරිසගේ සහභාගීත්වයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කටූවපිටිය දෙව්මැදුරු පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

අවසානයේදී රදගුරු සහ පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සිදුකිරීමට නියමිතය.