(මනෝ ප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙණ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගෙන් විත්තිවාසික කැඳවීමට කොළඹ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

විත්තිකරුවන්ගෙන් විත්තිවාචක කැඳවීමට තරම් ප‍්‍රබල නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇතැයි තීරණය කර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බිත්ති වාචක ඉදිරිපත් කරන ලෙස විත්තිකරුවන්ට නියම කළේය.

වසර හතරක පමණ කාලයක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අවසන් කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය දැනුම් දීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන වරත්න මාරසිංහ (සභාපති) සුජීව නිස්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

2019 අප්‍රේල් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කර අහිංසක මිනිසුන් මරා දැමීම හා මරා දැමීමට තැත් කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා 23270 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

නෞෆර් මවුලවි, සාජිත් මවුලවී, සහ මව්විවරුන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබූ අතර නඩුව විභාග කිරීමට පෙර එක් විත්තිකරුවකු මිය යෑම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කෙරිණි.

2022.10.21 වැනිදා විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත‍්‍ර භාරදුන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2022.09.15 ඔවුන්ට එරෙහි චෝදනා කියවා තේරුම් කර දෙනු ලැබීය.