(සුජිත් හේවාජුලිගේ )

පළාතකින් පළාතකට යද්දි  එන්නත්  මාත්‍රා දෙකම  ලබාගත්  බව සහතික කෙරෙන එන්නත්  කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට  අනිවාර්ය කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  රජයට යෝජනා කරයි.

එසේම හෝටල් සහ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට  ගමන් ගන්නා පුද්ගලයන්ගේ  එන්නත්  මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන  එන්නත්  කාඩ්පත පරීක්ෂා කිරීමද  අනිවාර්ය කළ යුතු බව පැවසූ  ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  අද ලෝකයේ බොහෝ රටවල්  මෙම යාන්ත්‍රණය  ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන ඇතැයිද සඳහන් කළේය.

මෙවැනි වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙන්  කොවිඩ් පළාතකින් පළාතකට ගමන් කිරීම සැලකිය යුතු ලෙස පාලනය කරගත හැකිවන බවත් විශේෂයෙන් තරුණ පරපුර  එන්නත්කරණයට  යොමුවීමටද මෙමගින් කිසියම් පෙළඹවීමක් ඇති කෙරෙන බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ  කළේය.

විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා  මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද   හෙතෙම පැවසුවේය.

මේ අතර රටට  කොවිඩ් වයිරස  නව ප්‍රභේද  ඉදිරියටත් පැමිණෙනු ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එන්නත්කරණයට  යොමුවීම සහ  මූලික සෞඛ්‍යය නීති දිගටම අනුගමනය කිරීම නව වයිරසවලින් ගැලවීමට තිබෙන  එකම මාර්ගය බවද  සඳහන් කළේය.

මුව ආවරණ  අනිවාර්ය කිරීමේ නීතිය රටේ තදින් ක්‍රියාත්මක කළ යුතු බවද  ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වරින් වර හඳුන්වා දීම වැදගත් බවත් මෙම සෞඛ්‍යය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරව  පසු විපරම් කිරීම  රජයේ  වගකීම බවත්  අර්ජුන ද සිල්වා මහතා  පැවසුවේය.