(අංජුල මහික වීරරත්න)

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා  උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළේ  පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබේ. වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ  අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ. 

යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත්  පසුගිය සති දෙක තුනේ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව  මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරිණි. 

පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. 

එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බවද අනාවරණය විය. 

අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 3ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.