ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දූෂණයෙන් තොර ක්‍රියාවලියක් බවට සහතික කිරීමට ලෝක බැංකුව දැඩි රෙගුලාසි හඳුන්වා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එම දැඩි රෙගුලාසි සමඟින් මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමය යටතේ ලංසු කැඳවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසුවේය.

ලෝක බැංකු මාර්ගෝපදේශවලට අනුව,පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා, ගිණුම් සහ අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීමට කොන්ත්‍රාත්කරුවන් සහ ඔවුන් යටතේ සිටින උප කොන්ත්‍රාත්කරුවන් ලෝක බැංකුවට අවසර ලබා දිය යුතු අතර ලෝක බැංකුව පත් කරන විගණන නිලධාරීන්හට සම්පුර්ණ ක්‍රියාවලිය විගණනය කිරීමට ඉඩ ලබා දිය යුතුය.

ලෝක බැංකුව වෙන්කර ඇති ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 350 ක හදිසි මූල්‍ය පහසුකම් යටතේ ඇති අරමුදල් යොදා ගනිමින් එළඹෙන මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය ලංසු කැඳවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදා ආරම්භ වන මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට එම අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 110 ක් යොදා ගත් බවත් එම පොහොර තොගය කාණ්ඩ 5 කින් ශ්‍රී ලංකාවට ලැබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පැවසුවේය.

වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ලෝක බැංකුවේ දැඩි රෙගුලාසිවලට අනුකූලව ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සමඟ ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමය යටතේ කොන්ත්‍රාත්කරුවන් ලංසු තැබීම සිදු කිරීමට නියමිතය.

ලංසු තැබීමේ ක්‍රියාවලියට අදාළව කොන්ත්‍රාත්කරුවන් නියෝජිතයින්ට කොමිස් හෝ ගාස්තු මුදලක් ගෙවා ඇත්නම් ලෝක බැංකු මාර්ගෝපදේශවල සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරු මුදල ගෙවූ නියෝජිතයාගේ නම,ලිපිනය සහ ගෙවූ මුදල සේවායෝජකයාට හෙළි කළ යුතුය