(බිඟුන් මේනක ගමගේ)
වතු කම්කරු වැටුප් ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් මහමැතිවරණයේදී පහත රට වතු කම්කරුවන් ඡන්ද වර්ජනය කරන්නේ යැයි පහත රට වතු කම්කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරු වැටුප රුපියල දහස දක්වා වැඩි කිරීම නව රජය ද මඟහරිමින් සිටින්නේ යැයි ද බහුතරයක් හින්දු භක්තිකයන් වූ පහත රට වතු කම්කරුවන්ට එනිසා අනිද්දාට (15) යෙදෙන තෛයිපොංගල් උත්සවය සැමරීම පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
සොබාදහමට ලැදියාවෙන් යුතුව සූර්යාට හා ගව මහීෂාදීන්ට කෘත ගුණ සැළකීම මුල් කරගෙන පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය තුළින් වසර පුරාම ඔවුන් දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නේ යැයි ද පාලකයා පත්කළේ ද ඉර හද මෙන් විශ්වාස කරමින් යැයි ද පහත රට වතු කම්කරුවන්ගේ සංගමය පවසයි.
එහෙත් අත්‍යවශ්‍ය ආහාර මිළ ඉහළයාම, විදුලිබිල ගෙවා ගැනීමට නොහැකිවීම, පාසල් ළමයින්ගේ පොත්පත් ආදිය මිලට ගැනීමට නොහැකිවීම නිසා මේ වනවිට වතුකම්කරුවන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයි ද ගැටලුවට කඩිනම් විසදුමක් නොලැබුණොත් මෙවර මහමැතිවරණයේ දී ඡන්දය වර්ජනය කිරීම නොවැළැක්විය හැකි යැයි ද පහත රට වතු කම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද පොහොට්ටුවට ලැබුනේ නැහැ. ඒ නිසා වර්ජනය කරන්න. අපිට පාඩුවක් නැත. පාවාදීමක් කරන්න උනත් රටේ අයවැයක් ඉදිරිපත් කෙරෙන තුරු ඉන්න ඕනේ. මොවුනට අවුරුදු 41/2 ඉන්න පුළුවන් උනා සතයක් නොලැබී. දැන් මාස 5 ක් ඉන්න බෑ. මේවා කරන්නේ පරාජිත එජාප සන්දානයේ අය.