(සුජිත් හේවාජුලිගේ)

ජනතාවට බදු පිට බදු ගැසීමට වර්තමාන ආණ්ඩුවට  සිදුව ඇත්තේ පොහොට්ටුව රට බංකොළොත් කර නන්නත්තාර කළ නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

රට බංකොලොත් කළ පිරිසක් ඉදිරියට දමාගෙන යන ගමනකින් ජනතාවට සෙතක් වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන්  කළේය.

රට බංකොලොත්වීමට පොහොට්ටුවේ අය සම්පූර්ණයෙන්ම  වගකිව යුතු බවත් පොහොට්ටුවේ ආර්ථික ඝාතකයන් සිටින තුරු ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට උදව් නොකරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

වර්තමාන ආර්ථික වටපිටාව තුළ ජනතාව අන්ත අසරණභාවයට පත්ව සිටින බව පැවැසූ ලක්මන් කිරිඇල්ල මහතා  ජනතාව වෙනුවෙන් කඩිනම් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේ‍ය.

පොහොට්ටුව බලයට පැමිණිමෙන් පසු ලොකු සමාගම් වලට බිලියන  800ක පමණ බදු සහන ලබාදුන් බවත් ජනතාවගේ බදු බර වැඩිවුණේ  ධනපතියන්ට ලබාදුන් මෙම බදු සහන නිසා බවත්  ඔහු වැඩිදුරටත් පැවසීය.