පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම පොලිස් නිලධාරීන් සිවු දෙනා අතරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමෙහි සුරක්ෂිත ලෙස සඟවා තිබූ රුපියල් තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික මුදලක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි අප පුවත්පත ඊයේ වාර්තා කළේය. මීට අමතරව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබූ ජීප් රියක්, නවීන යතුරුපැදියක්, සැටලයිට් දුරකථනයක් හා රුපියල් නවලක්ෂ හතළිස් දහසකට අධික මුදලක් ඇතුළු බඩු භාණ්ඩ රැසක් සොයාගත් බවද පොලිස් මූලස්ථාන උසස් පොලිස් නිලධාරියකු උපුටා දක්වමින් වාර්තා කළ එම පුවතෙහි සඳහන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් රාජකාරිය වන්නේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමය. මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමය. කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය. එසේ නොමැතිව කුඩු ජාවාරම්කරුවන් සමග එකට කුඩු ගැසීම නොවේ. කුඩු ජාවාරම්කරුවන් සමග යහන්ගත වෙමින් එක පතේ වැළඳීම නොවේ. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිවු දෙනා කර තිබෙන්නේ එසේ නොකළ යුතු දෙයමය. ඒ අනුව මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් සිවු දෙනා අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයටය.
මන්දයත් එම නිලධාරීන් සිවුදෙනා කර තිබෙන්නේ එතරම්ම පහත් බලු වැඩක් වන හෙයිනි. එහෙත් පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අයත් සුනඛයන් නිල වශයෙන් සුනඛයන් ලෙස හැඳින්වුවද මෙවන් බලු වැඩ නොකරන බව එම පොලිස් නිල සුනඛයන්ට ගෞරවයක් පිණිස සඳහන් කළ යුතුය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතවැසියන් බවට පත්ව තමන්ගේ මඩිය තර කර ගත් නිලධාරීන් සිවු දෙනාට එක් අතකින් ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් එම නිලධාරීන් සිවු දෙනා නිසා සමාජය තුළ බරපතළ ලෙස සංවාදයට ලක්වෙමින් තිබෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණ හෙයිනි.
කාලාන්තරයක් පුරා මේ සමාජයේ කතාබහට ලක්වූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කුඩු තොගවලට සිදුවන්නේ කුමක්ද යන්නය. සැබැවින්ම එයට පිළිතුරක් නොමැතිකම නිසාම ජනයා විවිධ පිළිතුරු සිතාගෙන සිටියහ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මජර තක්කඩි අශිෂ්ට නිලධාරීන් සිවුදෙනා නිසා එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා කුඩු තොග එම කාර්යාංශයේම නිලධාරීන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වේ. එසේ බලනවිට මතින් තොර රටක් යනු මිරිඟුවක් විනා කිසි විටෙකත් මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් නොවන්නකි.
මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සංවිධානාත්මකව සිදුවන අපරාධයකි. එය තනි ජාවාරම්කරුවකුගේ මෙහෙයුමක් නොවේ. එය වටා දූෂිත වළල්ලක් ඇත. එම දූෂිත වළල්ල තුළ ජාවාරම්කරුවෝ, ආරක්ෂක අංශවල දූෂිත නිලධාරීහු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීහු, තක්කඩි දේශපාලනඥයෝ සිටිති. අහම්බෙන් හෝ අනාවරණය වන සිදුවීම්වලින් එම දූෂිත වළල්ලේ පුද්ගල නාම එළියට පනී.
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රකාශයක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ දූෂිත නිලධාරීන් සිවු දෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. එම ලද තොරතුර සුළුවෙන් ගෙන පහසුවෙන් බැහැරට නොදමා පුළුල් පරීක්ෂණයක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම දූෂිත පොලිස් නිලධාරීන් සිවු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබී ඇත.
මෙම පොලිස් නිලධාරීන් සිවු දෙනා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළේ නින්දාසහගත අවමානයකි. එමෙන්ම මුළු මහත් ජාතියටම සිදු කරමින් සිටියේ මහ පොළොව නුහුලන අපරාධයකි. එම අපරාධය ගණනය කළ නොහැකිය. මුළු මහත් ජාතියක් මරණය කරා රැගෙන යාමට දායක වන්නකුට දිය හැකි දඬුවම් නීති සංග්‍රහය තුළ නොවේ නම් දෙගිඩියාවකින් තොරව රජ කාලයේ දඬුවම් ආදේශ කළ යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුද්ගලික අත්දැකීම් තියෙනවා. මෙයාලා අල්ලන්නේ කුඩුවලට ඇබ්බැහිවූවන්. කුඩු විකුණන්නන් ගැන පැමිණිල්ලක්වත් කරන්න මිනිස්සු බයයි. මොකද අනිත් පැත්තෙන් පණිවිඩේ යනවා කුඩු මුදලාලිට...
සත්‍ය වශයෙන්ම, මේ නිලධාරීන් අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයටය. එහෙත්, එසේ කළේ නම්, එය එම සතුන්ටද නිගාවකි. මන්දයත්.. එම සතුන් මේ නිලධාරින් මෙන් ගන්නා වැටුපට හා නිලයට ද්‍රෝහීවන්නේ නැත.
ඕක තමා අපි හැමදාම අහන්නේ... අහුවෙන ටොන් ගණන් කුඩු වලට මොකද වෙන්නේ..?
අද කුඩු විකුණන්නන් ගැන පොලිසියට පැමිණිලි කරන්න මිනිස්සු ඉදිරිපත් නොවන්නේ, ඒ අයට කුඩු මුදලාලිගේ මැරයින්ගෙන් හිරිහැර වෙයි කියන බයට. ඇයි පොලිසියට බැරි මහජනයාට නිර්නාමිකව කෙලින්ම පොලිස් මූලස්ථානයට මෙවැනි අපරාධකාරයින් ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ලබා දීමට නොහැකි..? මෙවැනි පැමිණිලි ප්‍රාදේශීය පොලිසිවලට දුන්විට ඒවායේ සිටින දුෂිත නිලධාරීන් ඒ තොරතුරු කුඩු මුදලාලිලාට ලබා දෙනවා. පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් අවංක සේවයක් කරනවා නම්, රටේ කුඩු උවදුර නැති කිරීම අපහසු කාර්යයක් නොවේ..
ගෝඨාගේ ආගමනයෙන් පසු රටට, ජනතාවට දැනෙන වෙනස කොහොමද..? වෙනස වෙනස් නොකරගෙන දිගටම මෙහෙම යමු.
අනේ මේ මිනිස්සු අහිංසකයෝ... මේ අය කුඩු අල්ලාගත්තාම දේශපාලකයා කෝල් කරලා ඒවා එළියට දාන්න කියනවා. මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ගෙන් අහන්න කවුද එහෙම කෝල් කරන්නේ කියලා...
මේ හතරදෙනා ඇල්ලුවා කියලා ප්‍රශ්නේ කෙළවරක් වෙන්නේ නැහැ. මොකද තව අවුරුදු කීපයකින් මේ අය එළියේ..