(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කින්නියා පාලම් පාරුවේ ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉම්රාන් මහරූෆ් මන්ත්‍රීවරයාගේ මස්සිනාවූ  කින්නියා නගර සභාපතිවරයා බවත්  එම තනතුරෙන් ඉවත් කර  ඔහුට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නා ලෙස නැගෙනහිර පළාත්  ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කරන බවත්  මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවැසීය.

මෙම කළපුවේ පාරු සේවයක් ආරම්භ කිරීමට රජය කිසිම අවසරයක්දී නැති බව පැවසූ  රාජ්‍ය අමාත්‍යවරයා අවසර නැතුව මෙලෙස පාරු සේවයක් ක්‍රියාත්මක කිරීම නිසා ජීවිත රැසක් අකාලයේ  විනාශ වුණු බවද  සඳහන් කළේය.

ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීවරයාගේ දේශපාලන හිතවතකු මෙම  පාරු සේවය පවත්වාගෙන ගොස් තිබූ බවත්  නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා   ජීවිත රැසක් මෙලෙස  විනාශවූ  බවත් ලංසා මහතා  ප්‍රකාශ කළේය.ඔහු මෙසේ පැවසුවේ සභාවේ  කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි.

මෙය නොවියයුතු සිද්ධියක් බවත්  සිද්ධියෙන් විපතට පත්වූ පවුල්වලට තමා  ශෝකය පළ කරන බවත්  නිමල් ලාන්සා රාජ්‍ය ඇමැතිවරයා පැවසීය සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටින ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම  කළපුවේ පාලමක් ඉදිකිරීමට තමා පසුගිය කාලයේදී මුල්ගල  තැබූවද එය ආප්ප පුච්චන්න සේ  ඉදි කළ නොහැකි බවද  කලපුවක් මැද පාලමක් ඉදි කරද්දී  කලයුතු ලොකු වැඩ කොටසක් තිබෙන බවත්  ලංසා මහතා කීවේය .එම පාලම ඉතාම ඉක්මනින් ඉදිකර අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවද  ලංසා මහතා කීවේය.