(ඩයනා උදයංගනී)

ජපානයේ ටෝකියෝහි දී පැවති 2020 පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත මහතාට නිවසක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව රටට කීර්තියක් අත්කරදීම සඳහා කළ කැපවීම අගය කිරීමක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ කොම්පඤ්ඤවීදිය මෙට්‍රොහෝම් නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නිවාස ඒකකයක් ඔහු වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.