(නිමල කොඩිතුවක්කු)

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට නම් සියලු පක්ෂ, විද්වතුන්, වෘත්තිකයන් ඇතුලු  සියලු දෙනා එක්ව පොදු සම්මුතියකට එළැඹිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

රටේ බොහෝ ප්‍රශ්නවලට මුල පාර්ලිමේන්තුව නොතකා හැර තීන්දු තීරණ ගැනීම බැවින් එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරිය යුත්තේ පාර්ලිමේන්තුවට බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික වයාපාරය සංවිධානය කරන ලද කතිකාව සංවාදාත්මක වැඩසටහනට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා :

“අද මේ රට මුහුණ දී ඇති අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නෙවෙයි. එක් අවස්ථාවක ඉන්දියාවද මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් එදා ඉන්දියාව ඉතාමත්ම නිවැරදිව සාමූහික ලෙස තීන්දු තීරණ ගැනීම තුළ එය විසඳා ගත්තා. එවැනි ප්‍රවේශයකට අප සියලු දෙනාම යොමු විය යුතු වෙනවා.

එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරිය යුත්තේ පාර්ලිමේන්තුවටය. රටේ බොහෝ ප්‍රශ්නවලට මුල පාර්ලිමේන්තුව නොතකා හැර තීන්දු තීරණ ගැනීමයි. ඒ නිසා මේ රටේ සියලුම දේශපාලන බලවේගවල අරමුණ විය යුත්තේ එක් පුද්ගල බලාධිකාරය අහෝසිකරමින් නැවත පාර්ලිමේන්තු සම්ප්‍රදායට යොමු වීමයි. ඒ සඳහා පොදු සම්මුතියකින් යුතුව පැහැදිලි වැඩ පිළිවෙළකට අප යොමු විය යුතුයි. කිසිඳු බල අරමුණකින් තොරව ඉතාමත්ම සද්භාවයකින් යුතුව අප ඒ සඳහා පෙනී සිටිනවා.

මෙම අවුල් වියවුල් වලට 20 වැනි සංශෝධනය බෙහෙවින් බලපෑවා.  එම නිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පූර්ණ බලය පැවරීම හා 20 වැනි සංශෝධනය බලරහිත කිරීමෙන් ගැටලු රාශියක් නිතැතින්ම විසදෙනවා” යැයිද ඔහු එහිදී පැවසීය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.