( +++ මහනුවර ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කලක සිටම සිදුවන්නේ යැයි කියන මේ සිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා බලහත්කාරයෙන් මත් ටොෆියක් කැවීමෙන් පසුව රෝගාතුරවී පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කරනු ලැබූ එම විදුහලේ හය වසරේ සිසුවකු පොලීසියට කර ඇති ප්‍රකාශයකිනි.
තම පාසලේ ඉහළ පන්තිවල ඇතැම් සිසුන් ටොෆි වර්ගයක් දී ඒවා ඔවුන් නම්කරන පහළ පන්ති වල සිසුන්ට දෙන ලෙස නියෝග කරන බවත් එසේ නොකළොත් පහර දෙන බවට ඔවුන් තර්ජනය කරන බවත් ඔහු පවසා ඇත.
සිද්ධිය වූ දින තමා ජ්‍යෙෂ්ඨ සිසුවකුගේ නියෝගය කඩකළ නිසා ඔහු ටොෆියක් කඩා එය තමාගේ කටට එබූ බවත් ඉන් පසුව තමාට වමනය ගිය බවත් රෝහල් ගතකර සිටින සිසුවා පොලීසියට පවසා ඇත.
මෙම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිටස්තර කල්ලියකගේ මෙහෙයවීමෙන් 6,7,8 වසර වල සිසුන්ට නොමිලේ මත් ටොෆි ලබා දී ඔවුන් ඒවාට ඇබ්බැහි කරවීමේ වෑයමක යෙදී සිටන බව මේ සිද්ධියෙන් පැහැදිලි වන බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පේරාදෙණිය පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
මගේ පුතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ බෝයගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත් වී ඔහු මේ පාසලට ඇවිත් තවම මාසයක්වත් නෑ. පුතා දින කිහිපයක් සන්තෝසෙන් පාසලට ගියා. නමුත් පස්සේ පුතා විවිධ රෝගාබාධ කියමින් පාසල් මග ඇරීමට උත්සාහ කළා. පුතා පවසන රෝගාබාධ සම්බන්ධයෙන් ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ට පවා පෙන්නුවා. නමත් පුතාට කිසිම රෝගයක් නෑ මෙයා පාසල් යාම මග හැරීමට මෙසේ බොරු රෝග ගැන කියනවා විය හැකි යැයි වෛද්‍යවරුන් පැවසුවා.
පාසල් යාම මග හරින්නේ ඇයි කියා දිගින් දිගටම ප්‍රශ්න කරන විට පුතා හඬමින් කියා සිටියේ පාසලේ ලොකු අයියලා කට්ටියක් ටොෆි ගෙනත් දීලා ඒ ගොල්ලන් කියන අයට ඒවා ගිහින් දුන්නේ නැත්නම් ගහන බවයි.
මේ සම්බන්ධයෙන් මා පාසලට ගොස් විදුහල්පතිවරයාටත් විනය භාර ආචාර්යවරයාටත් පැමිණිලි කළා. ඒ අය පවසා සිටියේ පුතාට ආරක්ෂාව දෙන්නම් සිද්ධිය සම්බන්ධයෙන් රහසිගතව සොයා බලන්නම් කියායි.
එදින පාසල ඇරී පුතා ගැනීමට මා ගියවිට පුතා කියා සිටියා, ලොකු අයියා කෙනෙක් අර ටොෆියක් මට බලෙන් කැව්වා කියා. එවිට මට වමනය ගියා කියලත් කිව්වා. පුතා සවස ගෙදර ගිහින් ඇඟට ලොකු අමාරුවක් දැනෙනවා යැයි කී නිසා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය මධ්‍ය මහා විදුහල්පති රුවන් එදිරිසිංහ මහතාගෙන් දුරකථනය මගින් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, පිටස්තර තරුණ කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් මත් ටොෆි වර්ගයක් පාසලේ 6, 7, 8 වසරවල සිසුන්ට නොමිලේ ලබාදීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විනය කමිටුව මගින් මේ පිළිබඳව රහසිගතව විමර්ශනයක් ආරම්භ කර තිබියදීත් මේ සිද්ධිය සිදුවී ඇති බවත් දැන් එහි විමර්ශන කටයුතු පොලීසිය දක්වා දුර දිග ගොස් ඇති බවද මේ සිද්ධිය පිටුපස පාසලේ දෙමව්පියන් කිහිපදෙනෙකු ද සිටින බවට සැකයක් මතුවී ඇති නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද විදුහල්පතිවරයා කීය.
මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳගත් තරුණයන් පිරිසක් යතුරුපැදි වලින් පැමිණ මෙම මත් ටොෆි වර්ගය ඉහළ පන්තිවල සිසුන්ට ලබාදෙන බවත් ඒවා එම සිසුන් පහළ පන්තිවල සිසුන්ට බෙදාහරින බවත් මෙහිදී කිසිදු ආකාරයක මුදල් සංසරණයක් සිදු නොවන බවටත් තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය.
මෙම මත් ටොෆි වලට ඇබ්බැහි වූ සිසුන් පිරිසක් පාසලේ සිටිය හැකි බව කී විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන බව සඳහන් කළේය.
ඇතැම් මව්පියන් ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර පාසලට පැමිණ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කරන විනය කමිටුවේ ගුරුවරුන්ට තර්ජනය කර ඇති බවද විදුහල්පතිවරයා පැවසීය. පාසලට නිසි ආරක්ෂක වැටක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බව කී විදුහල්පතිවරයා පාසලේ ආරක්ෂක කැමරා පද්ධතිවලට හසු නොවන ආකාරයට ඕනෑම පිටස්තර පුද්ගලයෙකුට පාසලට පැමිණිමට හැකිවීම විශාල ප්‍රශ්නයක් බව ද කීය.
මව්පියන් සුළු පිරිසක් හැරෙන්නට බහුතර පිරිස මෙම සිද්ධියේදී තමන් සමග සිටින බව ද විදුහල්පතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා මේවාට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න. මොකද දරුවන් ලොකු විනාශයකට පත්වෙමින් ඉන්නවා. අපේ දරුවන් රැක ගැනීම අප සැමගේම වගකීමයි. ඉක්මණින් මේවට සම්බන්ධ සියලු දෙනාවම අල්ලා දැඩි දඬුවම් දෙන්න. රට විනාශයටම යාවි...
පොඩි දරුවන්ගේ ජීවිත අනතුරේ දාලා, ඔච්චර දෙයක් වෙනකන් විදුහල්පති මොකද කළේ? හැබැයි වෙලාවට පාසල් සංවර්ධන සල්ලි නම් එකතු කරලා ඇති... පොලිසියට කියලා වැඩක් නැත්නම් කියන්නකෝ අර STF එකේ නොම්මරයක් දීලා තියෙන්නේ මේ වගේ අපරාධ දැනුම් දෙන්න...
89/90 දශකයේ මම පාසල් යනකාලේදී අපිව ආරක්ෂා කලේ අපේ පාසලේ ඉහළ වසරවල අයියලා, පිට පාසල් වලින් ප්‍රශ්න ආපු වෙලාවල් වල, මට තවම මතකයි. මගේ කතා පොතක් හොරකම් කළ ළමයෙක්ව සොයන්න මුළු පාසලම පීරපු ශිෂ්‍ය නායකයෙක් මම අදත් ගෞරවයෙන් සිහි කරනවා. අපිත් ඒ වගේම අපිට පහළ පන්තිවල අපේම සහෝදරයින්ව ආරක්ෂා කළා... අද කෝ ඒ සහෝදරත්වය..? මොකද එ්කට වුනේ...? මේ කාලකන්නි අධම මජර දේශපාලුවන් විසින් මේ රටට විවුර්ත ආර්ථිකය අනවරතේ ගෙනැල්ලා, කුඩු ගෙන්නන කෙනා පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත්වෙලා දිනන තැනට රට වැටුනේ කාගේ වරදින්ද?
මේ ප්රශ්නය බොහෝ පාසැල් සහ ටියුෂන් පන්තිවල සිද්ධ වෙනවා. බලෙන් දීලා කෑවේ නැත්නම් ගහනවා. මත්ද්‍රව්‍ය විකුණන්නේ නැතිව කුඩා ළමුන්ව ඇබ්බැහි කරගන්න කරන දෙයක්... දෙමව්පියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවන්ගේ චර්යාවන් ගැන. වෙනස් වීම් ගැන..
අතිගරු ජනාධිපතිතුමනි, මේ අපරාධ රටෙන් තුරන් කරන්න. අපේ අනාගත පරපුර රැකදෙන්න.
තිස්තුන් කෝටියක් දෙව් රජාණන් වහන්සේලා අප ගැන අනුකම්පා කර මව්බිම ගිලගනිමින් සිටින මත් රකුසාගෙන් අප දරු දැරියන් තරුණ මහලු සියලු දෙනා ආරක්ෂා කොට රැක දෙත්වා ! තෙරුවන් සරණයි !
පේරාදෙණිය කියන්නේ කොතරම් කුඩා ප්‍රදේශයක්ද? මෙවැනි තැනක ඔය කියන මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳගත් පිරිස කව්දැයි සොයා ගැනීම ඔතරම් අපහසු දෙයක්ද? මේකෙන් පෙනී යන්නේ පොලිසියේ නොහැකියාවයි.
මේ සිරි ලකේ පාර්ලිමේන්තුවට අනාගත සුදුස්සන් පහසුවෙන් තෝරාගන්න පුළුවනි කියලා හිතෙනවා...