(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කෙරෙන්නේ  සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා  සංශෝධනය කිරීමෙන් පසුව බව  අධිකරණ බන්ධනාගාර  කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

මෙම පනත හදිසියේම ඉදිරිපත් නොකරන බවද ඔහු සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

මෙය ජනතා මර්දනයට ඉදිරිපත් කරන පනතක් කියලා සමහරු කියනවා. මේක අපි සද්භාවයෙන් ගෙනාපු පනතක්.

ජනතාවට පීඩනයක් ඇති කරන පනතක් නොවේ. එවැනි පනතක් ඉදිරිපත් කරන්නේ නෑ. නීති හදන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා මත. මේ පනත අධ්‍යනය කරන්න බොහෝ පාර්ශ්වයන් කල් ඉල්ලුවා. ඕනෑම අයකුට මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. අපි කාලයක් දෙන්න සූදානම්. පුළුල් සාකච්ඡා වට කීපයක් පවත්වා  සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.