(අංජුල මහික වීරරත්න)

රුපියල් මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම සහ සමුපකාර ක්ෂේත්‍රය දේශපාලන බලපෑම්වලින් තොරව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බව

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වී වේලීමට එල්ල වන බාධා සහ මහා මාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත, රුපියල් මිලියන 10ක් පමණ වටිනා නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Dryers) 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ප්‍රදානය කෙරෙයි.

නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අළෙවිකර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව දෙන බව අමාත්‍යංශය කියයි.