(යොහාන් භාසුර)

මරණ දඩුවම නියමවී පොදු සමාව ලැබීම සඳහා අධිකරණ අමාත්‍යංශය පත්කළ විද්වත් කමිටු කීපයකින් නිර්දේශ කළ සිරකරුවන් 154 ක් වසර හතරකට අධික කාලයක් තවදුරටත් බන්ධනාගාරගතව සිටින බවත් මෙම තත්වය එම නිර්දේශය සඳහා පත්කළ කමිටු වෙනුවෙන් වැයකළ රුපියල් ලක්‍ෂ 200 කට ආසන්න මුදල අපතේ යැවීමක් බවත් එම සිරකරුවන්ගේ ඥාතීහු පවසති.

මරණ දඩුවම නියමව සිටින සිරකරුවන් 262 කින් සිරකරුවන් 154 ක් 2022 වසරේ මාර්තු මස පොදු සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගත් බවත් එම කාලය තුළ සිදුවූ දේශපාලන තත්වයත් සමඟ ඔවුන් නිදහස් කිරීමට යටගිය බවත් ඔවුහු කියති.

මෙහිදී පළමුව පොදු සමාව සඳහා සිරකරුවන් 184 ක් තෝරාගත්ත ද අවසන් නිර්දේශය සඳහා ඔවුන්ට දඩුවම් පැනවූ විනිසුරුවරුන්ගේ නිර්දේශය ලබාගැනීම නොහැකි වීම නිසා සිරකරුවන් 30 දෙනකු එම ලැයිස්තුවෙන් ඉවත්කිරීමට සිදුවී ඇති බවත් අදාල තීන්දු දුන් විනිසුරුවරු මරණයට පත්වීම, රෝගීවී සිටීම සහ විදේශගතවීම යන හේතු මත ඔවුන්ගේ නිර්දේශ ගැනීමට නොහැති වීම එයට හේතුව බවත් ඥාතීහු සඳහන් කරති.

මෙම සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම ක්‍රියාවලිය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාත්මක කළ එකක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව එයට පහසුකම් සැළසීම පමණක් කළ බවත්ය.

එයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ද සම්බන්ධව සිටි බව කී ගජසිංහ මහතා පැවසුවේ බන්ධනාගාරයට එයට බලපෑමක් කළ නොහැකි බවත්ය.