(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල)

විදේශගතව සැඟව සිටින  අපරාධකරුවන් දෙදෙනනකු මිනිස් ඝාතන සඳහා යොදාගත් ගිනි අවි තුනක්, හා මත්ද්‍රව‍ය සන්තකයේ තබාගෙන සිටි අනුගාමිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

අත්අඩංගුව ගත්  සැකකරුවන් අතර ආයුධ සැපයූ පුද්ගලයකු, නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයකු, මිනිස් ඝාතන සඳහා යතුරු පැදිය පැද වූ පුද්ගලයකු ,සහ ආයුධ භාරව සිටි පුද්ගලයකු  සිටින බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සමග විදේශ රටක නිෂ්පාදිත 3.8 රිවොල්වර වර්ගයේ ගිනි අවි 3 ක් , 9 එම් එම් වර්ගයේ  උන්ඩ 6 ක් ,3.8 වර්ගයේ  උන්ඩ 06 ක් ලක්‍ෂ 15 පමණ වටිනා හොරෙයින් මත්කුඩු ගෑම් 50 හා , රුපියල් ලක්‍ෂ 8 ක් පමණ වටිනා අයිස්මත්ද්‍රව‍ය ගෑම් 55 ක් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 03 ක් , පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් ගිනි අවි අතර ඉකුත් තිස් වැනි දින 16 හැවිරිදි තරුණියට වෙඩි තැබූ ගිනි අවියද වන බව පොලිසිය සදහන් කරයි.

මෙම සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල කලුබෝවිල රෝහල පාර,සරනන්කර පාර,කලුබෝවිල කැවුම් වත්ත හා බෝධිය වත්ත ප්‍රදේශවල නිවෙස්වල රැඳී සිටියදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරකට අනුවය.

මෙම ගිනි අවිවලින් ඉකුත් කාලය පුරා දෙහිවල කොහුවල හා ගල්කිස්ස ප්‍රදේශවල මිනිස් ඝාතනය ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.